රතු කොකා සහ කොකා කෝලා

Posted: September 1, 2015 in Uncategorized

coca

කොකා කෝලා සමාගමේ අපරික්ෂාව හේතුවෙන් බොන ජලයට තෙල් කාන්දු වීම සහ මෙරට ක්‍රියාත්මක බහුජාතික සමාගම්වල කෙරුවාව මධ්‍යයේ වමේ නිහඬතාවය පිළිබඳ කතා බහක් මතුව ඇත. මේ කාරණාවට අදාළව බහුජාතික සමාගම් වලට එරෙහිව සටනට මෙරට ජනප්‍රිය වම සොයා යන පිරිස් අතපසු කරගන්නා කරුණක් ඇත. ඒ මේ වන විට කොකාට එරෙහිව යාමට රතු කොකාලා සුදානම් නැති බවය. ඒ හැම කොකාගේ මෙන්ම රතු කොක්කුන්ගේද නියම පැහැය ඔය වැනි පියෑඹීම් වලදී පෙනෙන්නට ගන්නා නිසාය. මේ ඒ ගැන තවදුරටත්ය.

මාක්ස්
බොහෝ දර්ශනවාදීන් සිදුකලේ ක්‍රමය විග්‍රහ කිරීම සහ එය විවේචනය කිරීමය. ඒ මිස ඔවුන් පවතින යතාර්ථය වෙනස් කර අලුත් ලොවක් යෝජනා කළේ නැත. මාක්ස් තවත් එක් දාර්ශනිකයකු නොවන්නේ ඔහු ක්‍රමය විග්‍රහ කිරීම සහ එය විවේචනය කිරීමෙන් නොනැවතී නව ක්‍රමයක් යෝජනා කළ නිසාය. නැතිනම් කඩන හැටි මෙන්ම හදන හැටිද කියූ නිසාය. ඒ අර්ථයෙන් මාක්ස් යනු දාර්ශනිකයෙක් නොවේය. හේ ප්‍රතිදාර්ශනිකයකු ලෙස සැලකීම වඩා නිවැරදිය.
ඒ අනුව ධනවාදී නිෂ්පාදන මාදිළියට එරෙහිව මාක්ස්ගේ යෝජනාව වුයේ කොමියුනිස්ට් නිෂ්පාදන මාදිළියයි. මෙහිදී වමේ ඇකඩමික් ඉතිහාසය අපට කියාදී තිබෙණුයේ සමාජවාදය යනු කොමියුනිස්ට් නිෂ්පාදන මාදිළිය සතු ඇතැම් ලක්ෂණ පෙන්වන සංක්‍රාන්ති අවධියක් ලෙසින්ය. නමුත් මෙතෙක් සමාජවාදී යැයි කියනා රටවල් අපට අත්දැකීමක් ලෙස සමාජවාදය සමීප කර තිබෙන්නේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් හෝ නමට සමාජවාදී වූ එහෙත් ධනවාදයේ බල සම්බන්ධතා මත ක්‍රියාත්මක වන අර්ථ ක්‍රමයන්ය.
වම
71 මෙරට පාලකයන්ගේ බල්ලන් පවා කිරිබොන විට ජනතාවට කිරි තබා හාල් පොලුත් වැටුනේ ඒ අනුවය. ඒ විවේචනය මීට වඩා දුර දිග ගෙනයාමෙන් අප වළකින්නේ 71 පැවතියේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් මිස සමාජවාදයක් නොවන බව ජවිපෙ පෙරටුකොටගත් වම අපට උගන්වා තිබෙන නිසාය. එසේම එය 71 සමගි පෙරමුණ හදාරන අයෙකුට පහසුවෙන් වටහා ගන්නටද හැකි නිසාය.
එනිසා කලක් ජවිපෙ කට ඇර සමාජවාදී කී චීනය අපට උදාහරණයට ගන්නට පුළුවන.
එදා ජවිපෙ චීනය විග්‍රහකොට දැක්වුයේ “ලිහාගන්නට පොඩි පොඩි අවුල් තිබුණත් චීනය සමාජවාදී” කියාය. ජවිපෙ විසින් මේ විග්‍රහය හොරෙන් හොරෙන් අකුලා ගත්තේ චීනය මෙරටදී මහින්ද සමග කෑ දීගය කැත ලෙස හෙළිවූ පසුබිමේදීය. එහෙත් ඒ අරඹයාද ජනප්‍රිය වම්මුන්ට පැහැදිලි කිරීමක් තිබිණ. හිත හදාගන්න මෙන් කළ එය ” හොරු එක්ක ගනු දෙනු කරන කොට චීනෙත් එහෙම වෙනවා.මොකද ඉන්දියාව සහ එක්සත් ජනපදට තරගයක් දෙන ගමන් තමයි මෙහෙදී චීනෙට ගනු දෙනු බේරගන්න සිද්ධවෙලා තියෙන්නෙ. එහෙම නැතුව සමාජවාදී රටවල් එක්ක හොඳ ගනුදෙනුවකට යන්න බෑ කියන්න බෑ ” වැනි ස්වභාවයක් ගත්තේය.
මෙතනදී රෑ දනියෙල් දවල් මිගෙල් ලෙස කටයුතු කිරීම ගැන පාක්ෂිකයන් ප්‍රශ්න කළේ නැත. අවම වශයෙන් උතුරු සුඩානයේදී චීන ආයෝජක කෙරුවාව වත් ඔවුන් ඇසුවේ නැත. ඒ නිසා ජනප්‍රිය වම්මුන් සමග හෙට සමාජවාදී සමාජ විප්ලවය කරන්න සිටින අයට චීනය ‘සමාජවාදීම’ විය.
මේ අතර චීනය ණය දුන්නේය. පිට රටවල ආයෝජනය කරන්නට දුෂිත පාලකයන්ට අනෙක් ධනවාදී රටවල් පරයා අල්ලස් දුන්නේය. ඒ හරහා ප්‍රකෝටිපතියන් රට තුළ පැටවූ ගස්සවා ගත්තේය. සැබවින්ම අතීත අධිරාජ්‍ය නාවුක ගවේෂකයින්ට පහසුකම් දී නැවෙන් ගොස් සිදුකරණ කොල්ලය දිරිමත් කිරීම සහ මේ අතර වෙනසක් නැත. එදා මෙන්ම මෙතනද වැදගත් කොට සලකන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයට කීයක් එනවාද? යන්න පමණය.
මෙවැනි රටක් සමාජවාදී ලෙස හැඳින්වීම සහ වාර්ෂිකව සංචාරය කිරීම , පක්ෂ සමුළුවට සුබ පැතුම් ගෙන්වා ගැනීම සහ ගොතා වැඩපිළිවෙලට මාක්ස් සිදුකළ විවේචනය අතර සම්බන්ධය අධ්‍යයනය කළ විට මේ හැසිරීමෙහි බරපතල ආචාරධර්ම ප්‍රශ්නයක් පමණක් නොව දේශපාලන ප්‍රශ්නයක්ද තිබෙන බව හඳුනා ගැනීම දුෂ්කර නැත. එදා මාක්ස් ගොතා වැඩපිළිවෙල එතරම් නිර්දය ලෙස විවේචනය කළේ ධනවාදය වෙනස කරන පක්ෂය තුළ ධනවාදයේ බිජු අංශුවක් වත් නොතිබිය යුතු බවට වන අවදාරනයෙනි. නමුත් වත්මන් මේ ජනප්‍රිය වම්මුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන යනු කොමියුනිස්ට් තබා සමාජවාදය කියන අකුරු 6 වත් නොමැති කසිකබල්ය.
ඒවායේ තිබෙනුයේම ධනවාදය රට තුළ පොදු වැසිකිලියක් තරමට ගඳ ගහන්න ගෙන නම් ඒ පිරිසිදු කොට තබා ගැනීමේ තම සුදුසුකම් සහ ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙලය. ඒ අනුව අප රටේ ජනප්‍රිය වම තුළ ධනවාදයේ වැසිකිලි සුද්දකරන්නන් මිස සටන්කාමී දේශපාලන ව්‍යාපාර නැත.
මේ වන විට කාටත් දැනෙන ලෙස කොකා කෝලා ගෙන මෙය විග්‍රහ කර ගන්නවා නම් ඒ මෙසේය යනුවෙන් අරඹා ,
කොකා කෝලා යනු බහු ජාතික සමාගමක්ය. එහි පැහැය රතුය. සමාගමේ සන්නාමය සහ කොහොමටත් කොකා කෝලා රතු නිසා එහි ගත යුතු ‘කෑල්ලක්’ වමට ඇත. ඒ චීනයට අදාළව තිබු කෑල්ල වගේම පොඩි කෑල්ලක් කියා පොඩි කෝචෝක් පාරක් දමා මෙය අවසන් කරන්නට පුළුවන.
එහෙත් ජවිපෙ ඇතුළුව මෙරට ජනප්‍රිය වම ගාල්ව ඇති මිත්‍යාව තේරුම් ගැනීමට තවමත් අසමත් සමහර අවංක දේශපාලන ක්‍රියාධරයන් තවමත් ‘වැඩෙත් එක්ක’ය. නැතිනම් දේශපාලන කාරනා හමුවේ පක්ෂ සහ පුරුදු, ඒවායේ දැක්ම වැනි දෑ සමග තිබෙන පෙකණි වැල වෙන් වෙන්නට කපා ගන්නට අසමත් අලි මේ තැන්වල කොට අදිමින්ය.
එසේම අනාගතයේ තවත් ක්‍රිෂ්මාල් මායාදුන්නේලා වීමට බලා සිටින දේශපාලනික විමතිකයන්ව තවත් වටයකින් දැනුවත් කළ යුතුව ඇත.

පොඩි උපමා කතාවකින් කියනවානම් ඒ මෙසේය.

එක ගමක සහෝදරවරු 7ක් හිටියා. ඒ රටේ ජනතාව පෙලපු රජතුමාට විරුද්ධව තමයි මේ අය වැඩ කළේ. ජනතා පීඩකයන්ට එරෙහිව සටන් කරන්න එයාලා තාත්තගේ මරණ මන්චකයෙදීත් පොරොන්දු වෙලා හිටපු නිසා නිතරම අයුක්තිය අසාධාරණය වගේ දේවල් එයාලා පතුලටම හඹා ගිහින් ඒවා පිටු දැක්කා. උපරිම සත්‍යවාදී උණා. ඒ නිසා සාමාන්‍ය මිනිස්සුත් මේ සහෝදරයන් 7ට ටිකක් විතර බයෙන් හිටියේ. මොකද සහෝදරයින් තදින්ම අයුක්තිය අසාධාරණය පිටුදකින නිසා මෙයාලට බය වුන හුගක් අයත් රජ උනානම් හැසිරෙන්නේ රජා වගේම තමයි කියනදේ යන්තමින් හෝ දැනසිටි නිසා. ඒ නිසා මේ සහෝදරයන්ගේ වැඩ වලට හුගක් මිනිස්සු එළිපිට කැමති උනත් රහසින් කැමති උණේ නෑ.

මේ සහෝදරවරුන්ගේ ලොකු අයියා මේක දැනගෙන හිටියා. ඒ වගේම ඒ බව මල්ලිලාටත් කියලි තිබුණේ.
කොහොම හරි එක පාරක් රජාගේ පිරිසත් එක්ක වුන දරුණු සටනකින් පස්සෙ ලොකු අයියා මැරුණා. ඊළඟ අයියා තමයි ඊට පස්සෙ මේ සහෝලට නායකත්වය දුන්නේ. එයා ලොකු අයියා වගේ නෙවෙයි. රජා එක්ක සටන වෙනුවට සම්මුතිය තෝරාගත්තා. ඒ නිසා කල් ගත්වෙනකොට මිනිස්සු මේ සහෝලට තිබුණ බය ගියා. අනිත් මල්ලිලාටත් පියාගේ මරණ මංචකයේදී උන පොරොන්දුව අමතක උනා.
ඉතින් මුලික සටන වෙනුවට මෙයාලා පොඩි පොඩි ටියුෂන් වැලි වලට යන්න ගත්තා. ටියුෂන් වැලි වලදී කොල්ලෝ විසිල් ගහපු නිසා වැඩියෙන්ම විසිල් වදින කෙනා සහෝදරයන් අතර ‘පොර’ උනා. එතන ඉඳලා සහෝලා සටන් කළේ පොරක් වෙන්න මිස පියාට උන පොරොන්දුව රකින්න නෙවෙයි.
පොර මානසිකත්වය ඇතුලේ ගොඩක් දේවල් මෙයාලට වෙන්න ගත්තා. ඒ වෙනකොට හිටපු එක මල්ලි කෙනෙක් රජා ගාවට ගියා. තවත් මල්ලියෙක් රට ගියා. නායකයා වෙලා හිටපු අයියව එළවලා හොඳට ටියුෂන් විසිල් ලැබුණ මල්ලියෙක් මේ සහෝදර පිරිසේ නායකයා උනා. එයා විසිල් වලට විතරයි සංවේදී උනේ. ඉතින් මිනිස්සු කළේ මෙයාව දැක්කාම විසිල් ගහන එක.
විසිල් වැඩිපුර ඇහෙන්න ඇහෙන්න මෙයා හිතුවෙ තමන් මිනිස්සු අතර මාර ජනප්‍රියයි කියලා. ඒ නිසා විසිල් වදින වැඩ හොයාගෙන ගිහින් ඒ වැඩේ මාරාන්තිකව ගොඩදාන්න මේ අයියා ක්‍රියා කළා. එයා හිතුවෙ මේ විසිල් දවසක තමන්ව රජ ගෙට ගෙනියයි කියළා.
එයා තවමත් හිතාගෙන ඉන්නෙ එහෙමයි.
ඔහොම ඉන්නකොට එයාව හම්බෙන්න මාධ්‍යවේදියෙක් ආවා.
මා : ලොකුම අයියව මතකද?
නා.ස : ඔව්. හොඳට මතකයි.
මා : එයා සටන් කළ විදිය ගැන මොකද හිතන්නේ
නා.ස : දැන් ඒවා වලංගු නෑ. අපි අලුත් වෙන්න ඕන.
මා : ඊට පස්සෙ අයියව මතකද?
නා.ස : අපෝ. යන්තම් ඇති එයා අපිව දාලා ගියා. එයා තමයි අපේ පවුල කෑවෙ.
මා : රජා ගාවට ගිය සහෝදරයාගේ හැසිරීම කොහොමද?
 නා.ස : අපි ළඟ ඉන්නකන් හොඳට හිටියා.දැන් අන්තිමයි. අපි එලවපු අයියා තමයි එයාගෙත් ඔලුව කෑවෙ
මා : රට ගිය අයියා මතකද ?
නා.ස : ආ .අපි එක්ක හිටපු කෙනෙක් නම් රට ගියේ නෑ.
මා : අර රාජපුරුෂයෝ උස්සන්න ගියේ ?
නා.ස : නෑ. එහෙම කෙනෙක් හිටියෙ නෑ.
මා : එතකොට ක්‍රිෂ්මාල් ?
නා.ස : ඔයවගේ හාදයෝ ජන්ද කාලවල එනවා. ඒත් හරියටම මතක නෑ.
මා : මායාදුන්නේ?
නා.ස : ආ ..දැනට මතකයි..ඒත් ඉතින් අනේ මන්දා මේ වැඩ නිසා ඉස්සරහට අමතක වෙයිද කියලා.
මා : අර බහු ජාතික සමාගම් රට වනසනවා?
නා.ස :  ආ එහෙමද? අපි ඒ ක්‍රියාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.
මා : බොන වතුරට එයාලාගේ වරදින් තෙල් එකතු වෙලා ?
නා.ස :  ආ …ඇත්තද? මාර වැඩේ ..ඉතින් ඉතින්
මා : ඉතින් කියන්නෙ, ඒක දැන් ගොඩින් බේරගන්න හදන්නෙ !
නා.ස : අම්මට සිරි එහෙමද
මා : ඔව්. රතුපස්වලදී වගේ ඔබලා මැදිහත් වෙන්නෙ නැද්ද?
නා.ස : වැඩක් තියනවද ? කැළණි ගඟට තෙල් වැටුනා කියලා අපි කෑගැහුවට මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ. විසිල් එකක්වත් ගහන්න තරම් ගැලරියක් සෙට් වෙන එකක් නෑ. කෝ අපි රාජ සභාවේ ඉල්ලපු විපක්ෂය වත් අපිට මිනිස්සු දුන්නේ නෑ. වෙන මොකක් හරි බලලා කියන්නකෝ !
මා : ඒ කියන්නෙ දැන් ඔයාලා හුඟක් වෙනස් වෙලා.
නා.ස : ඔව්. ජනතාව අපිට දීලා තියන වරමේ තියෙන්නෙ දුෂණ හොයලා පොඩි වාර්තාවක් හදන්න.පස්සෙ ඔයාලව ගෙන්වලා ඒ ගැන දැනුවත් කරන්න. ඒ නිසා අපි අපිට ජනතාව නොදුන්න දේ කරන්න යන්නෙ නෑ. බහු ජාතික සමාගම් ගැන අපේ අලුත් පොතේ නෑ. අනික නිකන් හිතන්න කොහෙවත් යන නලයක් පුපුරලා වතුරට තෙල් ගියාම ඒකෙ අයිතිකාරයට ගහලා වැඩක් තියනවද? ‘හොඳ නල වලින් සමාගම් වලට තෙල් ගනු’ කියලා අපි දැනටමත් පෝස්ටරයක් ප්‍රින්ට් කරමින් ඉන්නෙ. ඕනනම් ඔය රාජ සභාවේදීත් පොඩි ටෝකක් දාන්නම්. ඒත් මං හිතන්නෙ නෑ වැඩක් වෙයි කියලා. කොහොම උනත් කොළඹ වතුර වල තෙල් කියලා වතුර කපන්න කලින් ඒක ජනතාවට කියන්න තිබුණා. එහෙනම් ජනතාව කලින් වතුර පුරවා ගන්නවා.
කතාව දැනට එතනින් අවසන්ය. ඉදිරියට නියමිතව තිබෙණුයේ විමල් වීරවංශ, සෝමවංශ , ක්‍රිෂ්මාල් මායාදුන්නේ සහ ඊට තකට තක විකාර රතු කොක් හාමිලා වෙනස් අවකාශයක බිහිවීමය.
තත්ත්වය මෙසේ හෙයින් කොකා කෝලා තබා මොන අටමගල් බහුජාතික සමාගම් මෙරට යකා නැටුවත් වම පැමිණ එය ගොඩ දාන්නේ නැත. එසේ ගොඩදැමීමක් බලාපොරොත්තු වෙනවා නම් එතැන විසිල් ගොඩක් වදින තැනක් බවට පත්කර ගත යුතුව ඇත.
වඩාත් සරලව නම් සමාජවාදී රතු කොකාලා සහ ධනවාදී රතු කොකාලා අතර තවදුරටත් තිබෙණුයේ වචන වල වෙනසක් පමණය. ඔවුන් පියාඹන්නේ නැත්තේ එවිට සැබෑ වර්ණය පෙනෙන්නට ගන්නා නිසාය.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s